Thursday 7th of May 2026

English Tamil
Advertiesment


පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවංක උවමනාවක් ආණ්ඩුවට නැහැ


2026-05-07 1260

 

- රෝහණ හෙට්ටිආරච්චි-

 

වත්මන් ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 128 හි වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණ පවත් වන බවට ප්‍රතිඥා දී ඇතත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවංක උවමනාවක් ආණ්ඩුවට නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා චෝදනා කළේය. 

පළාත් සභා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ චෝදනාව එල්ල කළේය.

මෙහි දි ඔහු වැඩි දුරටත් රජයෙන් ඉල්ලා සිටියේ, මෙම කමිටු නිසා තව දුරටත් සිදු වන ප්‍රමාදයන් නවතා, දැනටමත් සකස් කර ඇති පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමෙන් අවශ්‍ය නීති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද පැවසුවේය, “අවසන් වරට පළාත් සභා මැතිවරණයක් පැවැත් වූයේ 2014 දී. ඒ ඌව පළාත් සභා මැතිවරණය. වර්තමාන ආණ්ඩුවත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව කල් මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අපට මේ වන විට නිරීක්ෂණය වනවා. 

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 128 වැනි පිටුවේ ඉතාම පැහැදිලිව සටහන් කර තිබෙනවා වසරක් ඇතුළත පළාත් පාලන මැතිවරණයත් පවත්වා අවසන් කරන බව. අපි දන්නවා මේ කාලයේ දී විවිධ අභියෝගයන් තිබුණා, ප්‍රමුඛතාවන් වෙනස් වුණා, දිට්වා සුළි කුණාටුවත් එක්ක ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ඒ දෙසට යොමු කිරීමට සිදු වුණා. ඒ එක්කම මැද පෙරදිග අර්බුදය ආදි බාහිර බලපෑම් ආවා. සියල්ලට යටත්ව මේ වන විට මාස 18කට වඩා වැඩි කාලයක් ගත වෙලා. වර්තමාන ආණ්ඩුවටත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවංක උවමනාවක් නැහැ.

පළාත් සභා මැතිවරණය පවත් වන්නේ කුමන ආකාරයට ද යන්න පිළිබඳ කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. නමුත් අපි තවමත් දන්නේ නැහැ කමිටු වාර්තාවේ තීන්දුව කුමක් ද කියා. 

නමුත් අපට නිරීක්ෂණ වන කාරණය වන්නේ, මේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වෙන්නේ දේශපාලනික තීන්දුවක් බව. මේ මැතිවරණ තාක්ෂණික කරුණු මත දිගින් දිගටම කල් දැමීම ඉතිහාසය පුරාම සිදු වුණා. මේ වන විට ආණ්ඩු තුනක් මේ තාක්ෂණික කාරණය පළාත් සභා මැතිවරණය කල් දැමීමට මෙවලමක් හැටියට පාවිච්චි කළා. 

මේ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම කමිටු නිසා තව දුරටත් සිදු වන ප්‍රමාදයන් නවතා, දැනටමත් සකස් කර ඇති පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමෙන් අවශ්‍ය නීති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි” 

Advertiesment